small gov

ශ්‍රී ලංකාව තුළ සීග්‍ර ආර්ථික සංවර්ධන ප්‍රවණතා සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම අතර සමතුළිතතාවයක් පවත්වා ගනිමින් අතිමහත් පාරිසරික සම්පත් සහ ඊට අයත් සියලු ක්ෂේත්‍රයන්හි ආරක්ෂාව සහ වර්ධනය සඳහා මග පෙන්වන්නා සහ මෙහෙයවන්නා වන්නේ පරිසර අමාත්‍යාංශය බව පළමු කොටම ඉතාමත් අවධාරණයෙන් සහ වගකීමෙන් ප්‍රකාශ කරමි.

එහිදී, වර්ධනය වෙමින් පවතින මානව ජනගහනයේ මූලික අවශ්‍යතා ඉටු කිරීම හේතුවෙන් අනාගතයේදී මතුවිය හැකි සම්පත් හීනතාවයන් මගහරවා ගැනීමේ අරමුණින් අපි නව උපායමාර්ග සහ විකල්ප සම්පත් පදනම් ක්‍රමවේද සේම අවශ්‍ය ප්‍රතිපත්තිමය සාධකයන් හඳුනාගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් වග බලා ගන්නෙමු.

නීල හරිත ආර්ථික මූලාරම්භයන් හඳුන්වා දෙමින් නව ආර්ථික සංවර්ධන ඉලක්ක හා ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කයන්ට අදාල අරමුණු ඉටුකරගැනීමේලා සියළු පාර්ශවකරුවන්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වේ. දැනටමත් මාගේ අමාත්‍යාංශය යටතේ පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර ඇත. එම සැලසුම් තුළින් පරිසර දූෂණය, වනගහනය අඩුවීම, භූමි හායනය, ‍ජෛව විවිධත්ව හානිය හා දේශගුණ විපර්යාස යනාදී ජාතික හා අන්තර්ජාතික වශයෙන් බලපාන පාරිසරික ගැටළු අවම කිරීමට පියවර ගෙන ඇත.

එමගින් පරිසර සංරක්ෂණයට අදාල අන්තර් ජාතික සම්මුතින් ක්‍රියාත්මක කිරීමෙහිලා වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීමට හැකියාව ලැබී ඇති අතර එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි (UNFCCC) 21 වන සැසිවාරයේදී ඇති කර ගත් එකඟතාවයන් අනුව ගෝලීය උණුසුම අවම කිරීම සඳහා දේශීය දායකත්වය යටතේ හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීම සඳහා වූ උපායමාර්ගික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කර ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 13ක් යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. තවද තිරසර පරිසරයක් මතුපරට දායාද කිරීම උදෙසා සහයෝගයෙන් හා සුහදශීලී ප්‍රථිපත්තියකින් සියළු ජාත්‍යන්තර පරිසර සංවිධාන සමග රටේ සෛරීභාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමටත් බැඳී සිටිමි.

මා ඇතුළු මාගේ අමාත්‍යාංශයත් ඊට අනුබද්ධිත ආයතනත් සමස්ත ජනතාවට මෙන්ම ඉදිරි පරම්පරාවට ද තිරසාරව ප්‍රතිලාභ ලැබෙන අයුරින් සියළු සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘතීන් පරිසර සංරක්ෂණයට අනුකූලව මෙහෙයවීමටත්, නියාමනය කිරීමටත් අවශ්‍ය සියලූම පියවර ගනු ලබන බවට සහතික වෙමි.