small gov

“අවිනිශ්චිත කාලවලදී හරිත වර්ධනය” යන තේමාව යටතේ ගෝලීය තිරසාර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 2024 ඔක්තෝබර් 12 සිට 18 දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති ගෝලීය හරිත වර්ධන සමුළුව සදහා පරිසර, වනජිවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා නියෝජනය කරමින් සහභාගි විය.

මෙහිදී සමුළුවේ සභාපති බෑන්කී මූන් මහතා (Ban-Ki-Moon) (GGGI Summit), කවුන්සිලයේ උප සභාපති සහ සම සභාපතිවරුන් වන කී යොන්ග් චුන් මහතා (KeeYong Chung) (දකුණු කොරියාවේ දේශගුණ විපර්යාස පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය) සහ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා (ලේකම්, පරිසර, වනජීවි, වන සංරක්ෂණ අමාත්‍යාංශය) මෙම සමුළුවේ මුලසුන දරන ලදී.

මෙහිදී 2025-2026 යන වර්ෂ සඳහාද ගෝලීය හරිත වර්ධන ආයතනයේ (GGGI) උප සභාපති සහ සම සභාපති ධුරයට බි.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සාමාජික රටවල් 48ක් අතරින් දෙවන වරටත් තේරී පත් විය. 

ශ්‍රී ලංකාවට පැරිස් සම්මුතියේ 6 වන වගන්තිය යටතේ කෘෂිකර්ම, විදුලිබල, කර්මාන්ත, ප්‍රවාහන යනාදී ක්ෂේත්‍ර 6 ක දේශගුණ විපර්යාස අවම කර ගැනීම සඳහාත්, එමෙන්ම කාබන් වෙළෙඳ පෙළෙහි නීති රීති බලගැන්වීම සඳහාත් ඩොලර් 779, 000ක මුදලක් අනුමත කරනු ලැබ ඇත.

සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ලේකම්වරයා, රටට බලපාන ආර්ථික හා බලශක්ති අර්බුදවලින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ තීරණාත්මක අවශ්‍යතාවය හා වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කළ දායකත්වය (NDC) ක්‍රියාත්මක කිරීම තුළින් රටේ හරිත වර්ධන සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා තීරණාත්මක අවශ්‍යතාවය සහ වැදගත්කම සම්බන්ධයෙන් සමුළුවේදී අවධානයට යොමු කරන ලදී.

දිගුකාලීන විසඳුම් මෙන්ම හරිත ආර්ථිකයකට සංක්‍රමණය වීමට සහ 2050 වසර වන විට දේශගුණික විපර්යාස ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිනි. 2030 වන විට කාබන් විමෝචනය 14.5% කින් අඩු කිරීම සහ ශුද්ධ ශුන්‍ය සැලැස්ම - 2050 හරහා කාබන් මධ්‍යස්ථභාවය ළඟා කර ගැනීම ශ්‍රී ලංකාව අරමුණු කරගෙන සිටින බව මෙහිදී පෙන්වා දෙන ලදී.

එසේම නව රජයේ ප්‍රතිපත්තිය අනුව, ජාතික ප්‍රවාහන උපාය මාර්ගයේ කොටසක් ලෙස විද්‍යුත් සංචලනය වෙත සංක්‍රමණය වීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස කාබන් විමෝචනය අවම කිරීමත්, ජාතික ප්‍රතිපත්තියක් ලෙසින් පිළිගෙන තිබෙන බවත් පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් විසින් තව දුරටත් ප්‍රකාශ කරන ලදී.

4132