2023 ජූලි 26
පසුබිම
කඩොලාන වනාන්තර දුර්ලභ, දර්ශනීය සහ ජෛවවිවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් වන අතර එය සාමාන්‍යයෙන් නිවර්තන සහ උපනිවර්තන කලාපවල වෙරළ තීරයේ දක්නට ලැබේ. ගෝලීය වශයෙන්, කඩොලාන වනාන්තර නියෝජනය කරන්නේ සියලුම නිවර්තන වනාන්තරවලින් 1% ට වඩා අඩු වන අතර මුළු වනාන්තර ප්‍රමාණයෙන් 0.4% ට වඩා අඩුය. කෙසේ වෙතත්, කඩොලාන වනාන්තර සුවිශේෂී සහ අද්විතීය කාර්යයන් සිදුකරනු ලැබේ.
- කඩොලාන මගින් සැලකිය යුතු පරිසර පද්ධති භාණ්ඩ හා සේවා රැසක් ලබා දිය හැකි බැවින් වෙරළබඩ ප්‍රජාවන්ගේ යහපැවැත්ම, ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සඳහා දායක වෙයි.
- කුණාටු, සුනාමි සහ මුහුදු මට්ටම ඉහළ යාම වැනි ස්වභාවික ආපදා වලින් වෙරළ තීරය ආරක්ෂා කිරීමක් සිදුවෙනවා. තවද, කඩොලාන නිසා කොරල්පර, මුහුදු තෘණ භූමි සහ නැව් මංතීරු වල රොන්මඩ එකතුවිම හා ඛාදනය වීම වළකනවා. මේ අනුව, කඩොලාන ස්වභාවික උවදුරුවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
- විවිධ මත්ස්‍යයන්, බෙල්ලන්, සංක්‍රමණික පක්ෂීන් සහ කෘමීන් මෙන්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින්, උරගයින් සහ උභයජීවීන් සඳහා ආහාර හා ආරක්ෂාව සැපයීම, බිත්තර දැමීමේ බිම් සහ පෝෂ්‍ය පදාර්ථ සැපයීම නිසා ජෛවවිවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් සංරක්ෂණය කිරීමට සහාය වීමට කඩොලාන වලට හැකිය.
- දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ දී කඩොලාන ද වැදගත් මෙවලමකි. කඩොලාන ගොඩබිම ඇති වනාන්තරවලට වඩා 3-5 ගුණයකින් වැඩි කාබන් ප්‍රමාණයක් වායුගෝලයෙන් උරා ගැනීම සිදු කරයි.
ශ්‍රී ලංකාව මධ්‍යම ප්‍රමාණයේ දිවයිනක් වුවද, ඉතා කුඩා ප්‍රදේශයක් තුළ එකිනෙකට වෙනස්වූ පරිසර පද්ධති රාශියක් හඳුනාගත හැක. ඒ අතරින් අඩු ව්‍යාප්තියක් සහිත අතිශය වැදගත් පරිසර පද්ධතියක් වුවද, දැඩිලෙස තර්ජනයට ලක්වූ පරිසර පද්ධතියක් ලෙස කඩොලාන පරිසර පද්ධතිය හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ සත්‍ය කඩොලාන ශාක විශේෂ 21 ක් හා කඩොලාන ආශ්‍රිත ශාක විශේෂ බොහොමයක් හඳුනා ගෙන තිබේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, ලෝක කඩොලාන ශාක විශේෂ වලින් තුනෙන් එකක් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති තුළ නියෝජනය වුවද , සත්‍ය කඩොලාන ශාක විශේෂ 21 න් 10ක්ම කර්ජනයටපත්ව තිබීමයි. වර්තමානයේදී මෙම සුවිශේෂි පරිසර පද්ධතිය විවිධ මානව ක්‍රියාකාරකම් නිසා වඩාත් තර්ජනයට ලක් වෙමින් පවතී. ඒ අතරින් අවධිමත් ලෙස ගස් කැපීම, භූමි ගොඩකිරීම, කැලි කසල බැහැර කිරීම, ජලජීවී වගා පද්ධතිවලට සහ ලුනු ලේවායන් සඳහා විනාශ කිරීම සහ වෙනත් වෙරළබඩ අවිධිමත් සංවර්ධන ක්‍රියාකාරකම් හදුන්වා දිය හැකිය.
ඒ අනුව, ජෛවවිවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වශයෙන් පරිසර අමාත්‍යාංශය විසින් මෙම සුවිශේෂී වූ පරිසර පද්ධතිය සංරක්ෂණය හා තිරසර භාවිතය සම්බන්ධයෙන් අදාල රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන නිළධාරීන්, පාසැල් සිසුන් සහ ප්‍රජාව සමඟ කඩොලාන සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් අතර කඩොලාන ප්‍රතිෂ්ඨාපනයේ ප්‍රමුඛයා ලෙසද ශ්‍රී ලංකාව ක්‍රියා කරයි.
තවද, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස ගෝලීය වශයෙන් පෙන්වා දී ඇති අතර, 2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී අද්විතීය, විශේෂිත සහ තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම අරමුණු කරගනිමින් සෑම වසරකම ජූලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ලෝක කඩොලාන දිනය යනු පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේදී කඩොලාන වල වැදගත් කාර්යභාරය සිහිපත් කිරීමකි. 2015 වසරේ සිට විවිධ පාර්ශ්ව, රාජ්‍ය නොවන සංවිධාන සහ උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රචලිත කිරීම සහ ඒවායේ තිරසාර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා නව්‍ය විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම වසරකම ජූලි 26 වැනි දින ලොව පුරා නොයෙකුත් ක්‍රියාකාරකම් සමඟින් මෙම දිනය සමරනු ලැබේ.
එබැවින් ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය විසින් මෙවර අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීම සඳහා අනෙකුත් අදාල රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සහ විද්වතුන්ගේ සහයෝගයෙන් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියත්මක කරන ලදී.
- ජාතික වැඩසටහන: “අපේ පැවැත්ම සහතික කිරීම උදෙසා කඩොලාන පවුර රැකගැනීමට අනාගත පරපුර
පෙළගස්වමු”
කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ පාසැල් සිසුන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුව - 2023 ජූලි 26 පෙ.ව. 8.30
කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම, කඩොලාන විශේෂ හඳුනා ගැනීම, ව්‍යාප්තිය, තර්ජනයට ලක්වීමට හේතු හා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් පාසැල් සිසුන් දැනුවත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩමුළුවක් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.
අරමුණ:
අනාගත පරම්පරාවේ දැනුම සහ ඔවුන් පරිසර පද්ධති රැකගැනීම සඳහා දක්වන ආකල්පය මත කඩොලාන පරිසර පද්ධතියේ අනාගතය රඳා පවතී. කඩොලාන පැවැත්මේ වටිනාකම පිළිබඳ අනාගත පරම්පාව දැනුම්වත් කිරීම සහ කඩොලාන පරිසර පද්ධතිය රැකගන්නා පරපුරක් ඇතිකිරීම මෙම වැඩසටහනෙහි ප්‍රධානම අරමුණ විය.
මෙහිදී, කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම, කඩොලාන විශේෂ හඳුනා ගැනීම, ව්‍යාප්තිය, තර්ජනයට ලක්වීමට හේතු හා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීමක් ලබාදුන් අතර පාසැල් සිසුන්ගේම දායකත්වයෙන් කඩොලාන වල වටිනාකම ඔවුන් විසින්ම සිතුවම් කර චිත්‍රයක් නිරීමාණය කරන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩමුළුවෙන් ලබාගන්නා දැනුමෙන් කඩොලාන සංරක්ෂණය පිළිබඳව පරිසර නියමු ව්‍යාපෘති සකසා වැඩිහිටියන්ද සහභාගී කරවා ගනිමින් ඔවුන්ගේ මට්ටමෙන් මෙම පරිසර පද්ධතිය රැක ගැනීමේ ක්‍රියාකාරකම් සිදුකිරීමට උනන්දුව ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් පරිසර නියමුවන් ඇතුළුව පාසල් සිසුන් ඉලක්ක කරන ලදී. තවද පැමිණෙන සිසුන් හා ගුරුවරුන් හට අනෙකුත් රජයේ හා පෞද්ගලික ආයතන හා එක්ව මෙවැනි ක්‍රියාකාරකම් ඔවුන්ගේ පාසැල් තුළ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමටද අපේක්ෂා කෙරුණි.
මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ පිහිටි පාසැල් 10ක් නියෝජනය වන පරිදි සිසු සිසුන් 200 ක් ස ගුරුවරු 2 බැගින් 220 ක් සහභාගී විය.
දායකත්වය :
- කඩොලාන සංරක්ෂණය හා තිරසර භාවිතය සම්බන්ධ ජාතික විද්වත් කමිටුව හා නීල කාබන් පරිසර පද්ධති බලකාය
- පරිසර අමාත්‍යාංශයේ එක්ව කළමනාකරණ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
- හේමාස් පෞද්ගලික ආයතනය
- හේලීස් ඇඩ්වාන්ටීස් පෞද්ගලික ආයතනය
- Wildlife and Nature Protection Society සහ එහි Youth Wings කණ්ඩායම
- ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය
- Blue Resources Trust ආයතනය
- SLT MOBITEL
- PetsVCare Animal Hospital (Pvt) Ltd