සාගරය ජීවි විශේෂ මිලියන ගණනකගේ නිවහන වන අතර සාගර වාසී ඇල්ගී මෙන්ම මත්ස්‍යයින් ආදී ජීවි විශේෂ සඳහා මුහුදු තෘණ වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි. මුහුදු තෘණ වලට වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායුව තිරකිරීමේ සුවිශේෂි හැකියාවක් තිබිම හේතුවෙන් සහ අනෙකුත් පාරිසරික සේවාවන් සහ කාර්යයන් නිසා එය වටිනා මෙහෙවරක් ඉටු කරන පරිසර පද්ධතියක් වේ. සාගරවාසී ශාක භක්ෂකයින්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය මුහුදු තෘණ වන අතර, එය මත පමණක්ම යැපෙන මුහුදු ජීවින්ද ඇත.එසේ වැදගත් වන මෙම පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මහත් තර්ජනයට ලක්වී වී ඇති අතර සෑම වර්ෂයකදීම අහිමි වන මුහුදු තෘණ ප්‍රමානය වර්ග කිලෝමීටර් 110 ක් පමණ බව සඳහන් වේ.
ලොව ප්‍රථම වරට සමරනු ලබන ලෝක මුහුදු තෘණ දිනය මෙවර නිල වශයෙන් උත්සවාකාරයෙන් සැමරිමේ ජාතික වැඩසටහන මාර්තු මස 1 වන දින පරිසර අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බ්ලු රිසෝස් ට්‍රස්ට් ආයතනය සහ තවත් ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සමඟ එක්ව සංවිධානය කර පරිසර අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදි පවත්වනු ලැබීය.
මෙම ජාතික උත්සවය ගරු පරිසර අමාත්‍ය ඉංජිනේරු. නසීර් අහමඩ් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබු අතර ඒ සඳහා ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින්ද රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත පාසැල් දරුදැරියන්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
පළමු ලෝක මුහුදු තෘණ දිනය සැමරීම සඳහා මෙම ජාතික උත්සවයේදී විශේෂ සමරු මුද්දර කවරයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව නිකුත් කරන ලදි. මෙම උත්සවයේදී ආරාධිත දේශනය බ්ලු රිසෝස් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂ මුහුදු තෘණ පිළිබඳ විශේෂඥ සුසන්ත උඩගෙදර මහතා විසින් සිදු කරන ලද අතර විශේෂ දේශනයක් ජනාධිපති උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි මහතා විසින් සිදු කරන ලදී. තවද, ගරු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මුහුදු තෘණ වල වැදගත්කම සහ එය ආරක්ෂා කිරීම පිළිබඳ මෙම උත්සවයේදි අවධාරණය කරන ලදි.
.






