කාන්තාරකරණය පිටුදැකීමේ අන්තර්ජාතික සම්මුතිය 1994 ජූනි මස 17 දින ප්‍රංශයේ පැරිස් නුවරදී සම්මත කර ගන්නා ලද අතර එම දිනය සිහිපත් කිරිම සඳහා සෑම වසරකම ජූනි 17 දින කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලදී.

නියඟය හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීම සදහා වන පූර්ව ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් සැම වසරකම මෙම දිනය ලොවපුරා සමරනු ලැබේ. 2022 වසරේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ “ Rising up from Drought Together( නියඟයෙන් හමුවේ එක්ව නැගී සිටිමු)” යන්නයි.
කාන්තාරකරණය සීග්‍රයෙන් ලොව පුරා වර්ධනය වන පාරිසරික ගැටළුවක් ලෙස හඳුනාගෙන ඇති අතර එය ඇතිවීම කෙරෙහි නියඟය, වන හායනය, නුසුදුසු කෘෂිකාර්මික ක්‍රමෝපාය භාවිතය හා පරිසරයට අහිතකර මානව ක්‍රියාකාරකම් ආදිය බලපා ඇත. නියගය යනු වර්ෂාව නොමැති වීම පමණක් නොවන බවත් එම තත්ත්වය භූමි හායනය සහ දේශගුණ විපර්යාස හේතුවෙන් වඩාත් ත්‍රීව වන බවත් දක්නට ලැබේ. නියඟය මානව හා ස්වභාවික පද්ධති වල කොටසක් බවට අද වන විට පත්ව ඇති අතර එම තත්වය වඩාත් ත්‍රීව වෙමින් පවතින බව මෑත කාලීන පාරිසරික වෙනස්කම් තුළින් පැහැදිලි වෙයි. මානව ක්‍රියාකාරකම් මෙන්ම මෑත කාලීන නියඟයන් නිසා සිදුව ඇති භූමි හායන තත්ත්වයන් ලෝකය අවිනිශ්චිත අනාගතයක් කරා ගමන් කරන බව අපට පසක් කර දෙයි. ආහාර හා ජල හිඟය මෙන්ම දැඩි නියගය හේතුයෙන් ඇති වූ ලැව්ගිනි මෑත වසර වලදී ත්‍රීව වී ඇත. වර්තමානයේ ඇස්තමේන්තු ගත අනාවැකි අනුව 2050 වසර වන විට නියඟය ලෝක ජනගහනයෙන් හතරෙන් තුනකට බලපෑම් ඇති කල හැකි බවට විශ්වාස කෙරේ. 1900 සහ 2019 අතර නියඟය ලෝකයේ ජනතාවගෙන් බිලියන 2.7 කට බලපෑම් කර ඇති අතර මිලියන 11.7 ක් ඉන් මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
නියඟය නිසා ඇතිවන ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමටත් ,නියඟය සඳහා පෙර සුදානම් වීමේ අවශ්‍යතාවය පෙනවාදිම සඳහාත් මෙවර තේමාව යොදාගෙන ඇත. මෙහිදී කාන්තාරකරණය හා නියඟය පිළිබඳව ජනතාව දැණුවත් කිරීම සහ ප්‍රවර්ධනය තුළින් මේ සඳහා ඵලදායි ලෙස මුහුණ දීමට , සුදුසු විසඳුම් ලබා ගැනීමට ජනතාව පෙලගැස්වීම, බල ගැන්වීම සහ සමාජයේ සෑම තරාතිරමක පුද්ගල කණ්ඩායම් සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සිදු කළ යුතුය. සියළු දෙනාම එක්ව ක්‍රියාකිරිම තුලින් මෙම තත්වයන්ට සාර්ථකව මුහුණදිය හැකි බව අතීත අත්දැකීම් තුලින් පැහැදිලිවේ.
කාන්තාරකරණ හා නියඟය පිටුදැකීමේ අන්තර්ජාතික දිනය සැමරිම නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය විසින් සිදුකරනු ලැබූ වැඩසටහන්.................
මෙවර කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ දිනය සැමරීම සඳහා භූමි සම්පත් අංශය විසින් වැඩසටහන් කීපයක් සංවිධානය කරනු ලැබිනි. ශ්‍රි ලංකාව වර්ථමානයේ මුහුණපා ඇති උග්‍ර ආර්ථික අර්බුදය හා ඉදිරියේදී මුහුණදිමට අපේක්ෂිත ආහාර අර්බුදය පිළිබඳව අවධානය යොමුකරමින් මෙම වැඩසටහන් සංවිධානය කරනු ලැබිනි. 2022.06. 16 වන දින උදෑසන, කාර්යාල පරිශ්‍රයේ පවතින ඌන භාවිත භුමි ප්‍රදේශය වගා කටයුතු සඳහා යොදා ගැනිමට ශ්‍රමදාන ව්‍යාපාරයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා අමාත්‍යාංශයේ සියළුම නිලධාරී මහත්ම මහත්මීන් සහභාගීවු අතර අමාත්‍යාංශීය සුභ සාධක සංගමයේ නොමද සහයෝගයද ඒ සඳහා ලැබිනි. මෙම වැඩසටහන සඳහා ගරු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා සමඟ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද සහභාගී විය. මෙහිදී පැමිණ සිටි ආරාධිත අමුත්තන් විසින් සංකේතාත්මකව පැල රෝපනය සිදුකරන ලදි. එදිනම සවස් වරුවේ අමාත්‍යාංශිය නිලධාරී මහත් මහත්මීන් සඳහා ගෙවතුවගාව පිළිබඳ දැණුවත් කිරීමේ දේශණයක් පවත්වන ලද අතර අමාත්‍යාංශයේ සියළු නිලධාරින් සඳහා තම ගෙවත්තේ වගාකර ගැනිමට හැකි එළවළු බීජ ලබාදිමට ද කටයුතු කරන ලදි.




