ජෛව සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
වර්තමාන හා අනාගත පරම්පරාවන්ගේ අභිවෘද්ධිය සඳහා නවීන ජෛව තාක්ෂණය සුරක්ෂිත ලෙස උපයෝගී කරගැනීම සඳහා ප්‍රමාණවත් මට්ටමක ආරක්ෂාවක් සහතික කිරීමේ අරමුණින් ජෛව සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන ලදී. මෙම ප්‍රතිපත්තිය සඳහා 2005 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලදී.
මේ වනවිට ජෛව සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පවත්නා නීති විශ්ලේෂණය කරමින් එහි අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ජෛව සුරක්ෂිතතා පනතක් කෙටුම්පත් කර ඇත. තවද මෙම විෂයය සම්බන්ධයෙන් තාක්ෂණික මට්ටමේ තීරණ ගැනීමට ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික කමිටුවක් ද අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇත.
ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හා ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි බලපෑම් කරනා කෘෂිකාර්මික පද්ධති කෙරෙහි දැඩි තර්ජනයක් ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ මඟින් ඇති කරනු ලබන අවදානම අවම කර ගැකීම පිණිස ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය හා අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වකාර සංවිධාන වල අපේක්ෂිත දැක්ම හා දිගු කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාවතහෙළි කරනු ලබන මාර්ගෝපදේශකයක් ලෙස ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම අවශ්‍ය වේ.
ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ වලින් ආර්ථිකයට, පරිසරයට හා සමාජයට ඇති කරන අවදානම් වළක්වන, හඳුනා ගන්නා, ඒවාට ප්‍රතිචාර දක්වන හා කළමනාකරණය කරනු ලබන හා ඵලදායී හා කාර්යක්ෂම ආයතනික සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කරනු ලබන යෝග්‍ය නෛතික රාමුවක් සකස් කිරීමට මඟපෙන්වන ජාතික ප්‍රතිපත්තියක් පිහිටුවීම මෙහි ප්‍රධාන පරමාර්ථය වේ.
ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, උපාය මාර්ග හා ක්‍රියාකාරී සැලැස්ම 2016 ජුනි මස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනි.
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය
“ඍජු හා වක්‍ර සේවාවන් අඛණ්ඩව සපයන ජෛව විවිධත්වයෙන් අනූන සුවදායක කඩොලාන පරිසර පද්ධතියක්” යන දැක්මෙන් යුක්තව කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය සඳහා 2020 ජනවාරි 20 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුන අතර 2020 සැප්තැම්බර් මස 08 වන දින පරිසර අමාත්‍යාංශයේ දී ප්‍රකාශයට පත් කරන ලදි.
මෙම ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති අභිමතාර්ථ 4 කින් සහ ප්‍රතිපත්ති ප්‍රකාශ 19 කින් සහ උපායමාර්ග 6 කින් සමන්විතවේ. මෙම ප්‍රතිපත්තිය කඩොලාන පරිසර පද්ධති පිළිබඳව ඍජුව හෝ වක්‍රව කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්හි රෙගුලාසි, පරමාර්ථ, අරමුණු, උපායමාර්ග, ක්‍රියාමාර්ග හා කාර්යභාරයන් මෙහෙයවනු හා ශක්තිමත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය, දැනටමත් ආරක්ෂිත සහ ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත ඇති කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අදාළත්වයක් ඇති සියලුම ආයතන වලට අදාළ වේ.
ජෛව විවිධත්වය හා බැඳුනු පාරම්පරික දැනුම හා ව්‍යවහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
අන්තර්ජාතික ජෛව විවිධත්ව සම්මුතියේ ජාතික කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස පරිසර අමාත්‍යාංශය ක්‍රියාකරනු ලබන අතර මෙම සම්මුතියේ 8 (ජේ) වගන්තියට අනුව ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසර භාවිතය හා බැඳුනු දේශීය දැනුම එහි නිපැයුම් හා භාවිතයන් සංරක්ෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව අංශය මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව පරිසර අමාතාංශය යටතේ ස්ථාපිත කර ඇති පාරම්පරික දැනුම පිළිබඳ ජාතික විද්වත් කමිටුවේ මූලිකත්වයෙන්, අදාල පාර්ශ්වකාර ආයතන හා මෙම විෂයය පිළිබඳ විශේෂඥයිනගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සාකච්ජා සහ වැඩමුළු ගණනාවකින් පසුව ජෛව විවිධත්වය හා බැඳුනු පාරම්පරික දැනුම හා ව්‍යවහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කල අතර ඒ සඳහා 2020.10.19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ප්‍රධාන අරමුණු 7ක් මූලික කරගනිමින් කෙටුම්පත් කර ඇති මෙම ප්‍රතිපත්තිය මූලධර්ම 8කින් සහ ප්‍රතිපත්ති ප්‍රකාශ 7 කින් සමන්විත වේ. මෙහිදී පාරම්පරික දැනුම හා ව්‍යවහාරයන් සංරක්ෂණය, භාවිතය, හුවමාරුව සහ අනෙක් ක්‍රියාකාරකම් සඳහා හඳුනාගත් උපායමාර්ග 8ක් යටතේ මූලික ක්‍රියාකාරකම් පෙළගස්වා ඇත.
මෙම ප්‍රතිපත්තිය මඟින්, පාරම්පරික දැනුම සංචිතව පවතින ස්ථාන හා ප්‍රදේශ හඳුනාගැනීම, රැස්කිරීම, සංරක්ෂණය හා තිරසර භාවිතය ප්‍රවර්ධනය කිරීම, පාරම්පරික දැනුම හා ව්‍යවහාර භාවිතය මගින් ගොඩනැගෙන ප්රතිලාභ සමාන හා සාධාරණ ආකාරයට බෙදීයාමට සැලැස්වීම, පාරම්පරික දැනුමෙහි උපයෝගීතාව පිළිබඳ සමාජ ආර්ථික හා පාරිසරික වටිනාකම හඳුනාගැනීම ඇතුළු තවත් විශේෂිත අරමුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත.